ඉන්ටෙල් ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු සංදර්ශනයෙන් විශිෂ්ට සම්මාන දිනූ පාසල් සිසුන් විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමාගේ ඇගයීමට ලක් වේ

 

ඉන්ටෙල් ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු සංදර්ශනයෙන් විශිෂ්ට සම්මාන දිනූ පාසල් සිසුන් විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමාගේ ඇගයීමට ලක් වේ

මෙවර, ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි මැයි 14-19 දක්වා පැවති ඉන්ටෙල් ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු සංදර්ශනයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ‍්‍රී ලාංකික පාසල් සිසු දරුවෝ තිදෙනෙක් ඉන් විශිෂ්ට සම්මාන ද්විත්වයක් සහ එක් විශේෂ සම්මානයක් සහිතව ජයග‍්‍රහණය කිරීමට සමත් වූහ.

ඉන්ටෙල් ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු සංදර්ශනය යනු ලෝකයේ රටවල් 78කින් පාසල් සිසුන් 1700කට අධික සංඛ්‍යාවක් සහභාගි වන විද්‍යා ව්‍යාපෘති පාදක කොට ගෙන පවත්වනු ලබන ලොව විශාලතම තරගයයි. එයට සහභාගි වූ දෙහිවල, එස් ද එස් ජයසිංහ මධ්‍ය විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ෂෙහාන් කනිෂ්ක සහ සංකල්ප පෙරේරා යන සිසුන්හට ” මිහිකත සහ පරිසර විද්‍යාව” යන කාණ්ඩය යටතේ විශිෂ්ට සම්මානයක් ( සිව්වන ස්ථානය) සහ විශේෂ සම්මානයක් හිමිවිය. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද ”අප ජලය පිරිපහදුවට නිනිති තාක්‍ෂණය යොදාගෙන විෂ සහිත ක්‍රෝම්යම් (IV) ඉවත් කිරීම සඳහා චුම්භකත්ව ගුණ සහිත ජෛව අගුරු සංයුක්තය නිර්මාණය කිරීම” නමැති විද්‍යා පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා මෙකී සම්මාන හිමිවී තිබේ.

විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක වන ජාතික විද්‍යා පදනම විසින් පාසල් සිසුන් අතර සංවිධාන කරන ලද විද්‍යා පර්යේෂණ ව්‍යාපෘති තරගය නියෝජන කළ ෂෙහාන් සහ සංකල්ප, ශ‍්‍රී ලංකා විද්‍යා හා ඉංජිනේරු සංදර්ශනයෙන්ද ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු සංදර්ශනයට සහභාගි කරවීම සඳහා තෝරාගනු ලැබුණි.

ඊට අමතරව නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේ G.K.N.M ගංගොඩවිල ශිෂ්‍යයාද ඉන්ටෙල් ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු සංදර්ශනයේ ” ඉංජිනේරු විද්‍යාව” කාණ්ඩය යටතේ විශිෂ්ට සම්මානයක් සිව්වන ස්ථානය ජයග‍්‍රහණය කරන ලදී. නව නිර්මාණයක් ලෙස ඔහු විසින් ඉදිරිපත් කරන ලද ” ක‍්‍රමානුකූල බිත්ති ගොඩනැගීමේ උපකරණය” වෙනුවෙන් මෙම සම්මානය හිමිවිය.

ජාත්‍යන්තරය ජයගනිමින් දස්කම් පෑ මෙම පාසල් දරුවන් තිදෙනා අද පෙරවරුවේ විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය, සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමාගේ ඇගයීමට ලක් විය. එහිදී එම සිසුන්ට සුබ පැතම් එක් කළ අමාත්‍යතුමා ඔවුන්ට නවීන ලැප්ටොප් පරිගණකය බැගින් ප‍්‍රදානය කරන ලදි.
මෙයට අමතරව ෂෙහාන් සහ සංකල්ප සිසුන් දෙදෙනාගේ විද්‍යා ව්‍යාපෘතිය භාරව කටයුතු කරන ලද දෙහිවල එස් ද එස් ජයසිංහ මධ්‍ය විද්‍යාලයේ ගයනි සමරසිංහ ගුරුතුමිය සහ එම ව්‍යාපෘතිය වැඩිදියුණු කිරීම සඳහා මග පෙන්වූ ප‍්‍රධාන අධීක්‍ෂකවරිය ලෙස කටයුතු කළ ආචාර්ය මෙත්තිකා විතානගේ ද මෙහිදී අමාත්‍යතුමාගේ ඇගයීමට විය.

(විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ නිල ෆෙස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී.) 

 

 
 

 

 

Site Map

 
Careers

Contact Us

FAQ

Search

News & Events

Follow Us on Social Media